Beijing Foreign Studies University

ප්‍රංශ භාෂා අධ්‍යයන පීඨය

发布时间:2019-05-10

ප්‍රංශ භාෂා අධ්‍යයන පීඨය මූලික වශයෙන් ස්ථාපිත වූයේ වසර 1950 මාර්තු මාසයේදීය. එහි විෂය ධාරාව ජාතික මට්ටමේ සහ නගර මට්ටමේ ප්‍රධාන විෂය ධාරාව ලෙස නම් කර ඇත. සරසවි උපාධිය, පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය පිරිනැමීමේ බලය මෙම පීඨය සතුය. ප්‍රංශ භාෂා පරිවර්තන විෂයේ පශ්චාත් උපාධිය පිළිබඳ ජාතික මට්ටමේ අධ්‍යයන මධ්‍යස්ථානය ලෙස ද මෙය හැඳින් වෙයි.

«ප්‍රංශ භාෂා අධ්‍යයනය» මෙම පීඨයේ සඟරාවකි. එය ආරම්භ වූයේ වසර 1980දීය. චීනයේ ප්‍රංශ භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ පළමු වෘත්තීය ප්‍රකාශනය එයයි. ප්‍රංශ භාෂාව භාවිත කරන රටවල් සහ කලාප පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය, ස්විට්සර්ලන්ත අධ්‍යයන මධ්‍යස්ථානය, බෙල්ජියම් අධ්‍යයන මධ්‍යස්ථානය සහ කියුබෙක් අධ්‍යයන මධ්‍යස්ථානය මෙහි ස්ථාපිත කර ඇත. වසර 2015දී «ප්‍රංශ භාෂා භාවිත කරන රටවල් සහ කලාප පිළිබඳ අධ්‍යයනය» නම් සඟරාව ද එළිදැක්විණ.

ප්‍රංශ භාෂා අධ්‍යයන පීඨයේ ගුරු මණ්ඩලය බහුශෘත මෙන්ම ඉහල ප්‍රංශ භාෂා හැකියාව ඇති කැපවීමෙන් යුතුව කටයුතු කරන පිරිසකි. මෙහි වෘත්තීය ගුරුවරුන් 24 දෙනෙක් අතරින් මහචාර්යවරුන් 5 දෙනෙක් මෙන්ම උප මහචාර්යවරුන් 8 දෙනෙක් සහ කථිකාචාර්යවරුන් 11 දෙනෙක් ද සිටිති. ආචාර්ය උපාධිය හිමි ගුරුවරුන්ගේ සංඛ්‍යාව 15කි. භාෂාව, සාහිත්‍යය, පරිවර්තනය සහ රටවල් හා කලාප අධ්‍යයනය ඔවුන්ගේ විෂය ධාරාවන් ය. වාර්ෂිකව ප්‍රංශ විශේෂඥයන් දෙදෙනෙක් බඳවා ගනු ලබන අතර බෙල්ජියම් විශේෂ ගුරුවරයෙකු ද සහභාගි කරවා ගැනේ.

ප්‍රංශ භාෂා අධ්‍යයන පීඨය සිසු සිසුවියන්ගේ මූලික අධ්‍යයන පදනම ශක්තිමත් කිරීමට දැඩි අවධානයක් යොමු කරයි. ප්‍රංශ භාෂාව පිළිබඳව සවන්දීම, කතා ව්‍යවහාරය, කියවීම, ලිවීම සහ පරිවර්තනය යනාදි පූර්ණ භාෂා හැකියා වර්ධනය කිරීමෙහි එය නියැළී සිටියි. අධ්‍යාපන පාඨමාලාව පරිපූර්ණ කිරීම සඳහා භාෂා අධ්‍යයනය සහ සංස්කෘතික දැනුම් මිනුම් එකට එකතු කොට එය පාඨමාලාවට ඇතුළත් කෙරේ. මෙම පීඨය සරසවි අධ්‍යයන මට්ටම අතින් චීනයේ පළමු ස්ථානයේ පසු වෙයි. චීනයේ ප්‍රංශ භාෂාව පිළිබඳ සිව්වැනි සහ අට වැනි මට්ටම්වල සුදුසුකම් තරගවල මෙම පීඨයේ සිසු සිසුවියෝ කදිම ලකුණු ලබා ගනිති. චීනයේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රංශ භාෂා පිළිබඳ විවිධ තරගවලදී මෙහි සිසු සිසුවියන් සම්මාන ලබා තිබේ.

ප්‍රංශ භාෂා අධ්‍යයන පීඨයේ අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් ශක්තිමත් භාෂා හැකියාවක් සහ ප්‍රංශ භාෂාව භාවිත කරන රටවල් පිළිබඳ මනා අවබෝධයක් ඇති ප්‍රවීණයන් ලෙස හැඳින් විය හැකිය. ඔවුහු විදේශ කටයුතු, ආර්ථිකය හා වෙළෙඳාම, සංස්කෘතිය, පුවත් ප්‍රකාශනය, අධ්‍යාපනය, සංචාරක සේවය යනාදි ක්ෂේත්‍රවල රාජ්‍යතාන්ත්‍රික, පරිවර්තක, පරිපාලන සහ අධ්‍යාපන වැනි අංශවල රැකියාවල නියුක්ත ව සිටිති. එමෙන්ම ශාස්ත්‍ර අධ්‍යයනය කිරීම පිළිබඳ මූලික සුදුසුකම සහිත පිරිසක් ලෙස ද ඔවුන් සැලකේ.

ප්‍රංශ භාෂා අධ්‍යයන පීඨය ලෝක ප්‍රකට පැරිස් දේශපාලන විශ්ව විද්‍යාලය (Institut d’Etudes Politiques de Paris – Sciences Po), පැරිසියේ තුන් වන විශ්ව විද්‍යාලය (Université Paris III – Sorbonne Nouvelle), පැරිසියේ සිව්වන විශ්ව විද්‍යාලය (Collègue de Sorbonne), කැනඩාවේ කියුබෙක් මොන්ට්‍රීයල් විශ්ව විද්‍යාලය ( Université du Québecà Montréal), ලාවල් විශ්ව විද්‍යාලය (Laval University) , බෙල්ජියමේ බ්‍රසල්ස් ස්වාධීනතා විශ්ව විද්‍යාලය (Université Libre de Bruxelles), ස්විට්සර්ලන්තයේ ජිනිවා විශ්ව විද්‍යාලය (Université de Genève) ඇතුළු විදේශ විශ්ව විද්‍යාල 17ක් සමග සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තබා ඇත. වාර්ෂිකව මෙම පීඨයේ සිසු සිසුවියන් 30ත් 40ත් අතර පිරිසකට එම විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීමේ අවස්ථා හිමි වෙයි.

මෙම පීඨයේ උපාධිධරයන් මනා භාෂා හැකියාවක් මෙන්ම නිපුණතා රැසක් හිමි අය නිසා ඔවුන් බඳවා ගනු ලැබූ ආයතනවල ඉහල පැසසුමට ලක් ව ඇත. චීනයේ විදේශ අමාත්‍යාංශය, වාණිජ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය සහ විද්‍යා තාක්ෂණික අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල විදේශ කටයුතු පිළිබඳ අංශ, ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය, චීන මධ්‍යම රූපවාහිනි සේවය, චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය, විශ්ව විද්‍යාල, අධ්‍යයන ආයතන, විවිධ පළාත්වල විදේශ කටයුතු පිළිබඳ කාර්යාල සහ ප්‍රංශ භාෂා භාවිත කරන රටවල් සමග ආර්ථික වෙළෙඳ සම්බන්ධතා ඇති සමාගම්වල මෙම පීඨයේ උපාධිධරයෝ සේවය කරති.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC