Beijing Foreign Studies University

ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂා අධ්‍යයන පීඨය

发布时间:2019-05-10

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ස්පාඤ්ඤ භාෂා අධ්‍යයනය සහ පෘතුගීසි භාෂා අධ්‍යයනය ආරම්භ වූයේ පිළිවෙලින් වසර 1952 සහ 1961 වර්ෂයේදීය. චීනයේ එම භාෂා දෙක පිළිබඳ අධ්‍යයනය ප්‍රථමයෙන්ම ආරම්භ කරනු ලැබුවේ ද බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය විසින්ය. පසුගිය වසර 60ක් තුළ මෙම පීඨය ස්පාඤ්ඤ භාෂා භාවිත කරන රටවල් සහ පෘතුගීසි භාෂා භාවිත කරන රටවල් සමග චීනය පවත්නා දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික අදහස් හුවමාරුවට වැදගත් දායකත්වයක් ලබා දී තිබේ.

වසර 1979 මෙහි ස්පාඤ්ඤ භාෂා විෂය ධාරාව චීනයේ පළමු වන ස්පාඤ්ඤ භාෂා අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය පිරි නැමීමේ බලය හිමි අංශය ලෙස නම් කෙරිණ. වසර 1996 චීනයේ පළමු වන ස්පාඤ්ඤ භාෂා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිය පිරිනැමීමේ බලය මෙම පීඨය සතු විය. වසර 2010 මෙහි ස්පාඤ්ඤ භාෂා විෂය ධාරාව බෙයිජිං නගරයේ ප්‍රධාන විෂය ධාරාව ලෙස තේරිණ.

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ භාෂා හැකියාව මෙන්ම කුසලතාව ද වැඩිදියුණු කිරීමෙහි නියැළී සිටීම පීඨයේ පරමාර්ථයයි. විදේශ කටයුතු, විදේශ වෙළෙඳාම, අධ්‍යාපනය, සංස්කෘතිය, විද්‍යා තාක්ෂණය සහ ජනමාධ්‍යය යනාදි ක්ෂේත්‍රවල රැකියාවල නියුක්ත වීමේ හැකියාව සතු‍ බහුවිධ නිපුණතා ඇති ප්‍රවීණයන් බිහි කිරීම මෙහි අරමුණය. දැනට ස්පාඤ්ඤ භාෂා අධ්‍යයන පන්තිවල ගුරුවරුන් 25 දෙනෙක් අතර මහචාර්යවරු 4 දෙනෙක් සහ උප මහාචාර්යවරු 5 දෙනෙක් සිටිති. වාර්ෂිකව විදේශ ගුරුවරුන් දෙදෙනෙක් බඳවා ගැනේ. පෘතුගීසි භාෂා පන්තිවල ගුරුවරුන් 8 දෙනෙක් සිටිති. ඉන් දෙදෙනෙක් විදේශ ගුරුවරුන් වෙති.

ස්පාඤ්ඤ භාෂා අධ්‍යයනය පිළිබඳ සරසවි උපාධියේ අධ්‍යයන කාලය වසර 4කි. පශ්චාත් උපාධිය පිළිබඳ අධ්‍යයන කාලය වසර 3කි. භාෂාව, සාහිත්‍යය, පරිවර්තනය සහ ස්පාඤ්ඤ භාෂා භාවිත කරන රටවල ‍තත්වය යනාදිය පශ්චාත් උපාධියට අදාළ විෂයයි. ආචාර්ය උපාධිය පිළිබඳ අධ්‍යයන කාලය වසර 3ක් හෝ 4කි. ලතින් ඇමෙරිකාවේ සාහිත්‍යය සහ පරිවර්තනය එහි විෂයයි. පෘතුගීසි භාෂා අධ්‍යයනය පිළිබඳ සරසවි උපාධියේ අධ්‍යයන කාලය වසර 4කි. මුල් වසර දෙ‍ෙක් සහ හතර වන වස‍රේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විදේශවල අධ්‍යාපනය ලැබීමේ අවස්ථා ලැබේ. පශ්චාත් උපාධිය පිළිබඳ අධ්‍යයනයේ කාලය වසර 3කි. පරිවර්තනය සහ බ්‍රසීලයේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය හා චීන-බ්‍රසීල සම්බන්ධතාව යනුවෙන් විෂය දෙකක් තිබේ.

ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂා අධ්‍යයන පීඨය චීනයේ එම භාෂා දෙක අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයේ පසු වෙයි. මෙතෙක් සරසවි උපාධි ලාභින් 2200ක්, පශ්චාත් උපාධි ලාභින් 150ක් සහ ආචාර්ය උපාධි ලාභින් 12ක් ස්පාඤ්ඤ භාෂා අධ්‍යයන පීඨයේ බිහි කර ඇත. පෘතුගීසි භාෂා අධ්‍යයන පන්තිය මගින් පෘතුගීසි භාෂා ප්‍රවීණයන් 500කට වැඩි දෙනෙක් බිහි ව ඇත. ඔවුන්ගෙන් රැසක් ජ්‍යේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිළධාරින්, පරිවර්තකයන්, මහචාර්යවරුන් සහ මාධ්‍ය වේදින් ලෙස කටයුතු කරති.

මෙම පීඨය ස්පාඤ්ඤ භාෂා භාවිත කරන රටවල සහ පෘතුගීසි භාෂා භාවිත කරන රටවල විශ්ව විද්‍යාල සමග සහයෝගිතා පුළුල් කිරීමෙහි නිරත වෙයි. එම විශ්ව විද්‍යාල සමග ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම් රැසකට අත්සන් තබා ඇත. මෙක්සිකෝ ජාතික ස්වායත්ත විශ්ව විද්‍යාලය (National Autonomous University of Mexico) සමග එක්ව ‘මෙක්සිකෝව පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය’ පිහිටුවා ඇත. ශාස්ත්‍රීය අදහස් හුවමාරුව සහ සංස්කෘතික ප්‍රචාරක ක්‍රියාකාරකම් සිදු කිරීම එම මධ්‍යස්ථානයේ කාර්යභාරයයි. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය සහ පෘතුගාලයේ ලිස්බන් විශ්ව විද්‍යාලය (Lisbon University Institute) ඒකාබද්ධව ‘චීන-පෘතුගීසි භාෂා සංස්කෘතික සහයෝගිතා අදහස් හුවමාරු සංගමය’ ස්ථාපිත කර ඇත. පෘතුගීසි භාෂා අධ්‍යයනය සහ චීන භාෂා අධ්‍යයනය යන ක්ෂේත්‍ර තුළ රටවල් දෙක අතර අදහස් හුවමාරුව සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම එහි අරමුණය.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC