Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය එක්ව ශාස්ත්‍රීය දේශන මාලාවක් පැවැත්වීම

发布时间:2022-01-02

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය පිහිටුවීමේ හැටවන සංවත්සරය හා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය පිහිටුවීමේ දසවන සංවත්සරය සමරනු ලබන මෙම වර්ෂයේදී, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය අතර මිත්‍රශීලී සහයෝගී සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය එක්ව දේශන මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී චීන, ශ්‍රී ලංකා භාෂා, සාහිත්‍යය, ඉතිහාසය, සංස්කෘතිය, සමාජ අධ්‍යයනය සහ දෙරට අතර සබඳතාව ආදි විවිධ ක්ෂේත්‍ර යටතේ ශාස්ත්‍රීය දේශන පැවැත්වෙනු ඇත.

ඒ අනුව 2021 දෙසැම්බර් මස 19 වන දින Zoom තාක්ෂණය ඔස්සේ "ශ්‍රී ලංකා-චීන මිත්‍ර හුවමාරු ඉතිහාසය" මැයෙන් පළමු දේශනය පවත්වන ලදී. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමියන් මෙම දේශනය පැවැත්වූහ. මෙම දේශනය මඟින් ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව හුවමාරු ඉතිහාසයේ වැදගත් අවස්ථා සහ වැදගත් චරිත මත පදනම් වූ විවිධ ඓතිහාසික කාල පරිච්ඡේදයන්හි සිදු වූ මිත්‍රශීලී හුවමාරු සහ එහිලා කැපී පෙනෙන සාධක මැනවින් පෙන්වා දීමට සමත් වූහ. විශේෂයෙන් ම 1957 වසරේ දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට උසස් අධ්‍යාපනයේ සහ අනෙකුත් ක්ෂේත්‍රවල දෙපාර්ශ්වයන් සහයෝගයෙන් කටයුතු කර ලැබූ වැදගත් ජයග්‍රහණ රාශියක් පිළිබඳව අවධානය යොමු කරන ලදී. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගිතා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙන්ම ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ද වන මහාචාර්ය මා චූන්වූ මහතා විසින් ආරාධිත දේශකයාණේ හඳුන්වා දෙනු ලැබූ අතර බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ශාස්ත්‍රපති උපාධි අපේක්ෂික හුආන්ග් යූසුඅන් මෙනවිය විසින් මෙහෙයවන ලදී.

කොවිඩ්-19 වසංගතයෙන් මෙම විශ්වවිද්‍යාල දෙක අතර හුවමාරු සහ සහයෝගීතාවයට විශාල බලපෑමක් ඇතිවී තිබේ. මෑතකදී විශ්වවිද්‍යාල දෙක අතර පැවැත්වූ වැදගත් සහයෝගීතා ව්‍යාපෘතියක් වූ මෙම මාර්ගගත දේශනයට බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය, යුනාන් විශ්වවිද්‍යාලය, යුනාන් මින්සු විශ්වවිද්‍යාලය, චොංචින් නොර්මල් විශ්වවිද්‍යාලය යනාදි චීනයේ විවිධ විශ්වවිද්‍යාලවල සිංහල අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් සහ සිසුන් පමණක් නොව කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හා සිසුහු සියයකට අධික පිරිසක් මෙම දේශනයට උනන්දුවෙන් යුතුව සහභාගී වූහ. මෙය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආසියා අධ්‍යයන පීඨයේ සිංහල අධ්‍යයන අංශය ජාත්‍යන්තරයන් හී මෙන්ම දේශීයව ද ජනප්‍රියත්වය සහ බලපෑම පුළුල් කිරීමට උපකාරී වේ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC